යූනියන් ඇෂුවරන්ස් 2021 බැංකු රක්ෂණ සම්මාන උළෙල උත්කර්ෂවත්ව පැවැත්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ බැංකු රක්ෂණ සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන යූනියන් ඇෂුවරන්ස් සමාගමේ 2021 බැංකු රක්ෂණ සම්මාන උළෙල පසුගියදා ‘First Class Excellence’ යන තේමාව යටතේ උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

2022 මැයි 21වැනිදා පැවති මෙම උත්සවයේදී, යූනියන් ඇෂුවරන්ස් සමාගමේ බැංකු රක්ෂණ සේවා අංශය මේ වනවිට අත්පත් කරගෙන ඇති සුවිශේෂී ප්‍රගතියට දායක වූ විශිෂ්ටයෝ පිරිසක් සම්මානයෙන් පිදුම් ලැබූහ. කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමූහාධිපති සහ යූනියන් ඇෂුවරන්ස් සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂ සුරේෂ් රාජේන්ද්‍ර මහතා සහ යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා මෙහි ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වූහ.

2021 වසර යූනියන් ඇෂුවරන්ස් සමාගමේ බැංකු රක්ෂණ අංශයට අති-විශිෂ්ට වසරක් වූ අතර, රුපියල් බිලියනයකට වැඩි වාර්ෂික නව ව්‍යාපාර වාරික (ANBP) මට්ටමක් සමගින් ශ්‍රී ලංකාවේ අංක එකේ බැංකු රක්ෂණ සේවා සම්පාදකයා බවට පත්වීමට සමාගම සමත් විය. මේ වනවිට යූනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට ප්‍රධාන පෙළේ බැංකු 7 ක් සමග එක්වී, ශාඛා 618 කට අධික සංඛ්‍යාවක් ඔස්සේ බැංකු රක්ෂණ සේවාවන් පිරිනමයි. මෙය ශ්‍රී ලාංකික සිහිනය සැබෑ කිරීම සඳහා සමාගම දරන උත්සාහය තවදුරටත් ශක්තිමත් කරන සාධකයක් බවට පත්වී ඇත.

යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා විසින් ‘First Class Excellence’ සම්මාන උළෙලේ ජයග්‍රාහකයන්ට සම්මාන පිරිනමන ලදි. එහිදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ අතිශය අභියෝගකාරී වසරක් තුළ, නවෝත්පාදන විසඳුම්, නවීන ඩිජිටල් තාක්ෂණය සහ විශිෂ්ට සේවාවක් සමගින් සුවිශේෂී ජයග්‍රහණ රාශියක් වාර්තා කිරීම බැංකු රක්ෂණ සේවා කණ්ඩායම සමත් වී ඇති බවයි.

“මේ ජයග්‍රහණ ශ්‍රී ලංකාවේ බැංකු රක්ෂණ ක්ෂේත්‍රයේ නව යුගයක උදාව සනිටුහන් කරනවා. එය රටේ වැඩි පිරිසක් වෙත රක්ෂණ සේවාවන් සමීප කරවීමට මහෝපකාරී වේවි. ඒ වගේම යූනියන් ඇෂුවරන්ස් සමාගමේ බැංකු රක්ෂණ සේවා එකතුවේ වටිනාකම මේ වනවිට බෙහෙවින් ඉහළ ගොස් තිබෙනවා. මෙය සමාගමේ තිරසාර වර්ධනයට ඉතා යහපත් ලෙස බලපාන දෙයක්.” ජූඩ් ගෝම්ස් මහතා වැඩිදුරටත් පැවසී ය.

යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන බැංකු රක්ෂණ නිලධාරිනී වින්ද්‍යා කුරේ මහත්මිය, වෘත්තීයභාවය හා කැපවීම ඔස්සේ මෙවැනි විශිෂ්ට ප්‍රතිඵල අත්කරගැනීම සම්බන්ධයෙන් ජයග්‍රාහකයන්ට තම සුබපැතුම් පිරිනැමුවා ය. ඇය කියා සිටියේ ඔවුන් සෑම විටම උත්සාහ කළේ, තමන් කරන සියලුම දේවල් විශිෂ්ටතම ලෙස ඉටුකිරීමට බවයි. “අතිදක්ෂ කණ්ඩායමක් වගේම, ඔවුන්ට හැකි උපරිමයෙන් සේවාවන් සැලසීමට උපකාරී වන තාක්ෂණය හා ක්‍රමවේදයන් අප සතුයි. මේ වනවිට මෙරට බැංකු රැසක් සමග ශක්තිමත්, ක්‍රමෝපායික සම්බන්ධතා ගොඩනංවා ගැනීමට අපට හැකි වී තිබෙනවා. එයත් මෙම සාර්ථකත්වයට එක් ප්‍රධානතම හේතුවක්.” වින්ද්‍යා කුරේ මහත්මිය පැවසුවා ය.

මෙවර සම්මාන උළෙලේදීත් සුපුරුදු පරිදි, සමාගමේ ඉහළම තලයේ සම්මාන හා ඇගයුම් වැඩසටහන වන ‘Circle of Excellence’ හි සාමාජිකයන් ඇතුළු විශිෂ්ටයන් පිරිසක් සම්මාන වලින් පිදුම් ලැබූහ. සම්මාන උළෙලේ ඉහළම සම්මානය වන ‘Champion of Champions’ සම්මානය නේෂන්ස් ට්‍රස්ට් බැංකු නාලිකාවේ නිමේෂා සෙව්වන්දි වීරවර්ණ ජයසේකර වෙත හිමි විය.

සම්මාන උළෙලේ ‘Pinnacle Award’ ජයග්‍රාහකයන් බවට පත්වීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකු නාලිකාවේ හර්ෂ සුදර්ශන විජේසිංහ සහ නිමේෂා සෙව්වන්දි වීරවර්ණ ජයසේකර සමත් වූහ. මේ දෙදෙනාටම පෞද්ගලික සංවර්ධන වැඩසටහනක් සඳහා ශිෂ්‍යත්වයක්, විදේශ සංචාරයක් සහ භාවිතය සඳහා සමාගම විසින් නඩත්තු කරනු ලබන සුඛෝපභෝගී වාහනයක් හිමි වේ.

ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් සමූහයේ සාමාජිකයෙකු වන යූනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට පැරණිතම පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම් අතරින් එකකි. මේ වනවිට එහි 3,000 කට අධික පිරිසක් සේවය කරන අතර, රටපුරා ශාඛා රාශියක් විවෘත කර තිබේ. එම සමාගම 2022 මාර්තු මාසය වන විට රු. බිලියන 17.9 ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක්, රු. බිලියන 49.7 ක ක ජීවිත රක්ෂණ අරමුදලක් සහ රු. බිලියන 58.5 ක ආයෝජන එකතුවක් වාර්තා කරගෙන ඇත.

ශ්‍රී ලාංකිකයන්ට තම සිහින හඹා යාමට අත්වැලක් වෙමින් එම සමාගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය සහ විශ්‍රාම ජීවිතය යන විවිධ අංශ ආවරණය වන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *