ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය, භූදේශපාලනය සහ ජාත්‍යන්තර ප්‍රජාව

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් වසංගතය, දේශපාලන නොසන්සුන් තත්වය සහ ආර්ථික අර්බුදය හමුවේ ප්‍රශ්න රැසකට මුහුණ දුන් ශ්‍රී ලංකාව මේ වනවිට එම ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට ප්‍රයත්න දරමින් සිටි. මේ ගැටළු විසදා ගැනීම සදහා ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ණය ලබාදුන් අනෙකුත් පාර්ශ්වයන් සමග සාකච්ඡා ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකාවට ණය ලබාදීම සදහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මේ වනවිට කාර්යමණ්ඩල එකඟතාවකට පැමිණ ඇති අතර තවත් රටවල් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහය දෙන බවට ප්‍රතිඥා දී ඇත. ඇමරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් Janet Yellen පසුගියදා ප්‍රකාශ කළේ ඇමරිකාව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට පූර්ණ සහය දෙන බවයි.ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ජාත්‍යන්තර මුල්‍ය ආයතන සමග සහයෝගයෙන් කටයුතු කරන බව චීනය ද ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය වර්තමානයේ ලෝකය පුරා සාකච්ඡාවට ලක්වෙන මාතෘකාවක් බවට පත්ව තිබේ. මේ සම්බන්ධයෙන්ජාත්‍යන්තර මාධ්‍ය පුළුල් මාධ්‍ය ආවරණයක් ලබා දෙයි. බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා පසුගියදා ප්‍රකාශ කළේ බංග්ලාදේශ ආර්ථිකය ශ්‍රී ලංකා ආර්ථිකය මෙන් කඩා වැටීමට ඉඩ නොදෙන බවයි.

සංචිතපහත වැටීම සහ ආනයන වියදම් ඉහළයාම මධ්‍යයේ තමරජය ගෝලීය ආයතනවලින් ණය ඉල්ලා සිටියද ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය වැනි තත්ත්වයකට තම රටට මුහුණ නොදෙන බව ඇය එහිදී පැවසුවා ය.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට පැවති සෑම රජයක් ම වගකිව යුතු බවත්, පැවති රජයන්ගේ නිසි ආර්ථික කළමණාකරණයක් නොමැති වීම ඊට හේතු වු බවටත් ඇතමුන් චෝදනා කරති. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර, කොවිඩ් වසංගතයෙන් සංචාරක ව්‍යාපාරය කඩා වැටීම, විදේශ ප්‍රේෂණ අඩුවීම, රජයේ දුෂණ හා අක්‍රමිකතා වැනි හේතු ද ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය උග්‍ර වීමට හේතු වී තිබේ.ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය චෝදනා කරන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට චීනය වගකිව යුතු බවයි. චීන ණය උගුල ඊට හේතුව බව එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ භූ දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණෙන් ඇතැම් රටවල් බල අරගලයක යෙදුන බවට ද විවේචන පවතී. විශේෂයෙන් මෙම උදව් උපකාර හරහා ශ්‍රී ලංකාව කෙරෙහි වුූ චීන බලපෑම අඩු කිරීමේ උත්සාහයක ඉන්දියාව, ඇමරිකාව හා ජපානය නිරත වූ බව ඇතැම් විචාරකයින් පවසයි. ඒ අනුව ඉන්දු – පැසිපික් කලාපයේ තම බල පරාක්‍රමය පැතිරවීම සදහා ඇමරිකාව ඉන්දියාව හරහා ශ්‍රී ලංකාවට බලපෑම් කර ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති.

කොවිඩ් වසංගත සමයේත්, ඉන් අනතුරුව හටගත් දැඩි ආර්ථික අර්බුදය අවස්ථාවේත් ලෝකයේ විවිධ රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකාවට විවිධ අයුරින් උදව් උපකාර කරනු ලැබීය. එම උදව් අතරට ණය, ආධාර හා පරිත්‍යාග ඇතුළත් වේ. මෙහිදී විශේෂයෙන් චීනය, ඉන්දියාව, ජපානය සහ ඇමරිකාව ඇතුළු රටවල් ලබාදුන් සහයෝගය අගය කළ යුතුය. මෙලෙස ලබාදුන් සහයෝගය පිළිබඳව ශ්‍රී ලාංකීය සමාජයේ විවිධ අදහස් හා මතවාද පවතී.

කොවිඩ් වසංගත අවස්ථාවේ එන්නත්, වෛද්‍ය උපකරණ, මුහුණු ආවරණ ආදිය මෙන්ම අනෙකුත් ආධාර ලබාදීමෙන් චීනය ශ්‍රී ලංකාව කෙරෙහි මිත්‍රත්වයේ දෑත් දිගු කළේය.පසුගිය ජූනි මාසයේචීනයේ ආධාර මත ඇමරිකානු ඩොලර් 800,000 ක් වටිනා වෛද්‍ය ආරක්ෂණ උපකරණ කට්ටල 330,000 ක් පමණ ශ්‍රී ලංකාවට ලබා දෙන ලදී. කොවිඩ් වසංගත කාලයේ චීනය ශ්‍රී ලංකාවට එන්නත් සහ වෛද්‍ය සැපයුම් විශාල ප්‍රමාණයක් ලබා දුන් අතරඑම උපකාර ශ්‍රී ලංකාවට වසංගත රැල්ලෙන් මිදීමට සහය විය.

ආර්ථික අර්බුදය අවස්ථාවේ ද චීනය විවිධ අයුරින් සහය ලබා දී ඇත. වත්මන් දුෂ්කරතාවන්ට සහ ණය බර ලිහිල් කිරීමට සහ තිරසාර සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයට අඛණ්ඩව ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීම සඳහා අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ කටයුතු කිරීමට සූදානම් බව චීනය දැනටමත් ප්‍රකාශකර ඇත.ගෙවී ගිය කාලය තුළ චීනයේ පළාත්, නගර, සමාගම් සහ චීන රතුකුරුස සමාජය ශ්‍රී ලංකාවේ ජනතාවට ඔවුන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා විවිධ ආකාරයේ ආධාර ලබාදී ඇත.

ශ්‍රී ලාංකීය ජනතාවට සහය වීම සඳහා චීනය ශ්‍රී ලංකාව වෙත හදිසි අත්‍යවශ්‍ය ඖෂධ, ආහාර සහ ඉන්ධන ආදිය සඳහා චීන යුවාන් මිලියන 500කආධාරයක් ලබාදුන්නේ ය. ශ්‍රී ලංකාවේ පාසල් 7,900 කට ආධාර සහල් මෙට්‍රික් ටොන් 5,000 ක් ද චීනය ලබාදී තිබේ. චීනයෙන් තවත් සහල් මෙට්‍රික් ටොන් 5000ක් ඉදිරි මාස 3 තුළ ලැබීමට නියමිතය. එසේම 2023 වසර සදහා රජයේ පාසල් සදහා අවශ්‍ය පාසල් නිල ඇඳුම් වලින් 70%ක් තෑගී ලෙස ලබාදීමට චීනය පොරොන්දු වී තිබේ.

චීනය පසුගිය 24 වැනිදා රුපියල් මිලියන 650 ක වටිනාකමින් යුත් ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළේ ය. පිළිකා රෝගීන් සහ වකුගඩු රෝගීන් සදහා අවශ්‍ය ඖෂධ ඊට ඇතුළත් වේ. එසේම චීනයේ යුන්නාන් ප්‍රාන්ත රජය එහි මිත්‍රත්ව සංගමය සමඟින් දුරස්ථ අධ්‍යාපනය සඳහා ස්මාර්ට් පුවරු 22ක් (අඟල් 75හි) සහ සූර්ය වීථි පහන් පද්ධති කට්ටල 70ක් නැගෙනහිර පළාතේ පාසල් වෙත පසුගියදා පරිත්‍යාග කළේ ය. මෑතකදී යුන්නාන් පළාත ශ්‍රී ලංකාවේ දිළිදු ජනතාවට ආහාර පැකේජ 12,340 ක් (රු. 5,200 බැගින්) සහ තොග අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ටොන් 33 ක් (රුපියල් මිලියන 10) පරිත්‍යාගකර තිබේ.

යුද්ධය, ව්‍යසන, වසංගත සහ අර්බුදවලින් පීඩා විඳි මඩකලපුවේ ඌන සංවර්ධිත දෙමළ ධීවර ගම්මානයක්වන කලුවන්කේනිහි වඩාත්ම අවශ්‍යතා ඇති පවුල් සඳහා නිවාස යෝජනා ක්‍රමයක් සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය අරමුදල් සපයා ඇත. එසේ ම චීනයේ Hangzhou හි Caihe No.3 ප්‍රාථමික පාසලේ සිසුන් තම දෛනික වියදම් මුදල් රුපියල් මිලියන 5ක් පමණශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් 1,000 දෙනෙකුට වැඩිදුර අධ්‍යාපනය සඳහා පරිත්‍යාග කළහ.

ශ්‍රී ලංකාවේ අර්ථික අර්බුදය අවස්ථාවේ අසල්වැසි ඉන්දියාව ද විවිධ අයුරින් ශ්‍රී ලංකා ජනතාවට සහය දැක්වීය.ඉන්දියාව පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවට කඩිනම් සහන රැසක් ලබා දී ඇත. 2022 දී පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 3කට ආසන්න විවිධ ආකාරයේ සමස්ත ආර්ථික ආධාර එනම් අත්‍යවශ්‍ය දේ සඳහා ඩොලර් බිලියනයක ණයක්, ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 500ක ණයක්, ඇමරිකානු ඩොලර්මිලියන 400 ද්විපාර්ශ්වික මුදල් හුවමාරුවසහ ආසියානු නිෂ්කාශන සංගම් රාමුව යටතේ ඇමරිකානු ඩොලර් බිලියනයකට වඩා වැඩි මුදලක් ඊට ඇතුළත් වේ.

ශ්‍රී ලංකාවේ ආහාර, සෞඛ්‍ය සහ බලශක්ති සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම සඳහා, ඉන්දියානු රජය ශ්‍රී ලංකා රජයට ඇමරිකානු ඩොලර්බිලියනයක සහනදායී ණයක් ලබා දෙන ලදී. ඒ ණය යටතේ සහල්, රතු මිරිස් වැනි ආහාර ද්‍රව්‍ය සපයනු ලැබීය. ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ප්‍රමුඛතා මත පදනම්ව සීනි, කිරිපිටි, තිරිඟු, ඖෂධ, ඉන්ධන සහ කාර්මික අමුද්‍රව්‍ය සැපයීම සඳහා වූ තවත් කොන්ත්‍රාත්තු කිහිපයක් මෙම පහසුකමට ඇතුළත් කර තිබිණ.

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි රෝහල් වෙත ඖෂධ සැපයීම, ධීවරයින් අතර භූමිතෙල් බෙදාහැරීම,අවශ්‍යතා ඇති කොටස්වලට වියළි සලාක ලබාදීම යනාදී වශයෙන් ඉන්දීය රජය සහය වී ඇත. වරාය, පුනර්ජනනීය බලශක්තිය, නිෂ්පාදන යනාදී ප්‍රධාන ක්ෂේත්‍රවල ඉන්දියානු ආයෝජන හරහා මධ්‍ය කාලීන හා දිගු කාලීන ධාරිතා නිර්මාණය සඳහා ද ඉන්දියාව ප්‍රයත්න දරන ලදී.

මෑතකදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 900 කට වැඩි විදේශ විනිමය ආධාර ලබා දී ඇත. මෙම ක්‍රියාමාර්ග ශ්‍රීලංකාව සමඟ නැගීසිටීමටත්, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායකවීමටත්, ද්විපාර්ශ්වික ආර්ථික සහ වාණිජ හවුල්කාරිත්වයට වැඩි ප්‍රබෝධයක් ලබාදීමටත් ඉන්දියාව දක්වන කැපවීමට අනුකූලවේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් පිරිසට සහන සැලසීම සදහා ඇමරිකාව ද විවිධ අයුරින් ශ්‍රී ලංකාවට සහය වී තිබේ. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වු එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) ඩොලර් බිිලියන 6 ක ප්‍රදානයක් හා සංවර්ධන මුල්‍ය සංස්ථාව(DFC) හරහා ඩොලර් මිලියන 120 ක ණයක් ශ්‍රී ලංකාවට ලබා දී තිබේ. ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ජනතාවගේ ක්ෂණික අවශ්‍යතා සපුරාලීම සඳහා ද ඇමරිකාව ඩොලර් මිලියන 5.75 කමානුෂීය ආධාර තොගයක් ලබා දුන්නේ ය. මෙම මානුෂීය ආධාරය, මුදල් ආධාර, කෙටි කාලීන රැකියා සහ අර්බුදයෙන් පීඩාවට පත් ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා බීජ වැනි කෘෂිකාර්මික සැපයුම් සෘජුවම ලබා දෙනු ඇත.

USAID පරිපාලක සමන්තා පවර්ගේ මෑත කාලීන ශ්‍රී ලංකා සංචාරය මත පදනම්ව, පස් අවුරුදු කාලයක් පුරා USAID හරහා ශ්‍රී ලංකාවට අතිරේක ඇස්තමේන්තුගත ඩොලර් මිලියන 65ආධාර ලබාදෙන බව ඇමරිකාව ප්‍රකාශ කර තිබේ. එසේම පෝෂණ තත්වය නැංවීම සදහාඑක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවට ආහාර මෙට්‍රික් ටොන් 3,000ක් පරිත්‍යාග කිරීමට ද පියවර ගෙන තිබිණ.

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 203ක ආධාරයක් ශ්‍රී ලංකාවට දීමට ආසියානු සංවර්ධන බැංකුව සහ ජපන් අරමුදල පසුගියදා තීරණය කළේ ය. ඉන් ඩොලර් මිලියන 200ක මුදලක් ආසියානු සංවර්ධන බැංකුව මඟින් ද, ඩොලර් මිලියන තුනක් ජපාන අරමුදල මඟින් ද ලබාදීමට නියමිතය.

ආහාර මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවයකි. ආහාර සුරක්ෂිතතාව මානව වර්ගයාගේ තිරසාර සංවර්ධනය සඳහා තීරණාත්මක සාධකයකි.COVID-19 වසංගතය, දේශගුණික විපර්යාස සහ යුක්රේන අර්බුදය ඇතුළු විවිධ සාධක හේතුවෙන්,මෑත වසරවල ගෝලීය ආහාර හිඟය සහ ආහාර මිල ඉහළ යාම වැනි ගැටළු කැපී පෙනේ.මේ නිසා ගෝලීය ආහාර සුරක්ෂිතතාව දැඩි අභියෝගවලට මුහුණ දී ඇති අතර එය ලෝක සාමය සහ සංවර්ධනය පවත්වා ගැනීම සඳහා තර්ජනයක් වී ඇත.

කෘෂිකාර්මික සම්පත්වලින් පොහොසත් වූ ශ්‍රී ලංකාව මූලික වශයෙන් සහල් නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත වී තිබුණි. නමුත්, ගෝලීය ආහාර අර්බුදය, දේශීය විදේශ විනිමය හිඟය සහ රසායනික පොහොර තහනම ආදිය හේතුවෙන් ශ්‍රී ලංකාව දැන් ආහාර හිඟයකට මුහුණ දී සිටී.

ලෝක ආහාර වැඩසටහන 2022 ජූලි 15 දින නිකුත් කරන ලද තත්ව වාර්තාව අනුව ශ්‍රී ලංකාවේමිලියන 6.3 ක ජනතාවක් ආහාර අනාරක්ෂිත බවකින් පසුවන බව අනාවරණය කෙරිණ. එය සමස්ත ජනගහනයෙන් 28.3% කි. එම වාර්තාවට අනුව මිලියන 6.7 ක් පමණ ජනතාව ප්‍රමාණවත් ආහාර අනුභව නොකරන අතර මිලියන 5.3 ක් දෛනික ආහාර වේල අඩු කර තිබේ. මිනිසුන්ගේ ආහාර මිලදී ගැනීමේ ශක්තිය ද අඩු වී ඇත.

මේ අනුව හොඳ අසල් වැසියන් සහ මිතුරන් ලෙස, චීනය, ඉන්දියාව මෙන්ම ඇමරිකාවවත්මන් දුෂ්කරතා මඟහරවා ගැනීමට සහ සමාජ හා ආර්ථික සංවර්ධනය ළඟා කරගැනීම සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දී ඇත. ශ්‍රී ලංකාව වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් මෙම රටවල හෝ ජාත්‍යන්තර සංවිධානවල සහය පමණක් ප්‍රමාණවත් නොවේ. ශ්‍රී ලංකා රජය මෙන් ම සියලු පුරවැසියන් විශාල කැපවීමකින්, වගකීම් සහගතව, දීර්ඝකාලීන වැඩපිළිවෙළකට අනුව කටයුතු කළ යුතු වේ.එසේ කටයුතු කිරීමෙන් පමණක් ශ්‍රී ලංකාවට මෙම ආර්ථික අර්බුදයෙන් මිදිය හැකිය.

(චීනයේ යුන්නාන් විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා අධ්‍යයනාංශයේ කථිකාචාර්ය සහ චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවයේ හිටපු උපදේශක සුගත් රත්නායක මහතා විසිනි)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *