STEM ක්ෂේත්‍රයන්හි කාන්තා දායකත්වය වැඩි කිරීම කෙරෙහි අවධානය

(කොළඹ, ලංකාපුවත්) – මෙම වසරේ විද්‍යාව සමග සම්බන්ධ කාන්තාවන්ගේ හා ගැහැනු ළමයින්ගේ ජාත්‍යන්තර දිනයේදී, STEM ක්ෂේත්‍රයන්හි කාන්තා දායකත්වය වර්ධනය කිරීම සඳහා අවධානය යොමු කර තිබේ.

STEM යනු මේ වන විට ලොව වැඩිම ඉල්ලුමක් ඇති වෘත්තීන්ට අදාළ ක්ෂේත්‍රයයි. ලොව වැඩිම ඉල්ලුමක් මෙන්ම, ඉහළම වැටුප් හිමි වන රැකියා සහිත STEM ක්ෂේත්‍රයට විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු හා ගණිත අංශයට අදාළ වෘත්තීන් ඇතුළත් වේ.

STEM ක්ෂේත්‍රය තුළ පැහැදිලිව දැකිය හැකි කරුණක් වන්නේ, එම අංශවල කාන්තා දායකත්වය වසරින් වසර සැලකිය යුතු පරිදි අඩුවීමයි. විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු හා ගණිත යන අංශ හතර ඔස්සේ වෘත්තීන් ප්‍රගුණ කර ක්ෂේත්‍රයට පිවිසෙන ලොව පුරා කාන්තාවන් පිරිස, එම ක්ෂේත්‍රවල රැකියා කරන සමස්ත සංඛ්‍යාවෙන් හතරෙන් එකක් තරම් සුළු පිරිසක් වීම ශෝචනීය කරුණකි. එමෙන්ම, විශ්වවිද්‍යාලයන්හි ද මෙම අඩුව පැහැදිලිව පෙන්නුම් කරමින්, එම ක්ෂේත්‍රයන්ගෙන් උපාධි මට්ටම දක්වා අධ්‍යාපනය ලබන පිරිමි ශිෂ්‍ය සංඛ්‍යාවට වඩා කාන්තා ශිෂ්‍ය සංඛ්‍යාව සැලකිය යුතු පරිදි අඩු වී තිබේ.

2017 වසරේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ දත්තවලට අනුව, දේශීය විශ්වවිද්‍යාලවල ලියාපදිංචි වූ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාවෙන් හරි අඩකට ආසන්නව, එනම්, සියයට 49ක්, කාන්තාවෝ වූහ. එහෙත්, පසුකාලීනව මෙම තත්වයෙහි පැහැදිලි වෙනසක් දක්නට ලැබුණු අතර, ඊට සමගාමීව, එම ක්ෂේත්‍රයන්හි ශ්‍රම බලකායේ වෘත්තීන්හි නියැළෙන හෝ කැපී පෙනෙන වෘත්තීය නායකත්වය දරන පුද්ගලයන් අතර කාන්තාවන් සිටින්නේ ඉතාමත් අල්ප වශයෙනි. STEM අංශ ගණනාවක් නියෝජනය කරන වෘත්තීන් ගණනාවකම මෙම කැපී පෙනෙන වෙනස දැකිය හැකි වේ. උදාහරණයක් වශයෙන්, සෞඛ්‍ය හා ජීව විද්‍යා අංශයන්හි රැකියාවන්හි නිරත වන කාන්තාවන්ගෙන් බහුතරය සාත්තු සේවා වැනි අංශයන් වෙත නැඹුරු වී සිටීම දක්නට තිබෙන කරුණකි. එසේ වන්නේ විද්‍යා තාක්ෂණ, ඉංජිනේරු, ගණිත අංශවල රැකියා වැඩි ප්‍රමාණයක් ‘පුරුෂ නැඹුරුව සහිත’ රැකියා ලෙස පුරුෂ පක්ෂයට වෙන් කරමිනි.

මෙලෙස STEM ක්ෂේත්‍රයන්හි කාන්තා දායකත්වයේ අඩුව හානිදායක සමාජ සම්මතයන්ටද මග පාදන්නක් වී තිබේ. එය, කාන්තාවන් මෙම ක්ෂේත්‍රයන් වෙත යොමුවීමේ අනාගත ප්‍රවණතාව ද මුලිනුපුටා දමන තත්වයකි. එම සමාජ සම්මතයන් වැරදි පූර්වාදර්ශ සපයන්නේ STEM ක්ෂේත්‍රයන්හි රැකියා, කාන්තාවන්ට වඩා පුරුෂ මනසට ගැලපෙන බවත්, ඒවා අවබෝධ කර ගැනීම කාන්තාවන්ට දුෂ්කර බවත් අඟවමිනි. එවැනි පක්ෂග්‍රාහී මතවාද සහ සම්මතයන් STEM ක්ෂේත්‍රය තුළින් කාන්තා වෘත්තිකයන් පිරිසක් බිහි වීමට ලොකුම බාධාවක් බවට ද පසුකාලීනව පත්විය හැකිය. එමෙන්ම, මෙම ප්‍රවණතාව රැකියා අවස්ථා, බඳවා ගැනීම්, ඉගැන්වීම් හා පුහුණු කිරීම් යනාදිය සඳහා ද බලපෑමට ඉඩ තිබේ.

විශේෂයෙන්, ශ්‍රී ලංකාව වැනි අර්බුදකාරී ආර්ථික තත්ත්වයක් පවතින රටක STEM ක්ෂේත්‍රයන්හි ස්ත්‍රී පුරුෂ සමාජ පරතරය පවතින මට්ටමටත් වඩා විශාල වශයෙන් පුළුල් වීමේ අවදානමක් ද පවතී. එසේ වන්නේ ආර්ථික දුෂ්කරතා හමුවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා සම්බන්ධ සමාජ සම්මතයන් හේතුවෙන්වි STEM ක්ෂේත්‍රයන්ට අදාළව ගැහැණු ළමයින්ගේ අධ්‍යාපන අවස්ථා ද අහිමි වීමේ ඉඩකඩ පවතින බැවිනි. කාන්තාවන් විශාල වශයෙන් රැකියාවන්හි නිරත නොවන STEM ක්ෂේත්‍රයන්ට අදාළ ඉගෙනුම් කටයුතු වෙනුවට, කාන්තා දායකත්වය බහුලව පවතින ක්ෂේත්‍රයන් ඉලක්ක කරමින් අධ්‍යාපනය හැදෑරීමට ඔවුන් නිරායාසයෙන් පෙළඹීමට ඉඩ තිබේ. ඒ හැරුණු විට, දියණියට උසස් අධ්‍යාපනය ලබාදෙනු වෙනුවට, STEM ක්ෂේත්‍රයක නිරත වීමට පුතුන්ට උසස් අධ්‍යාපනය ලබාදීමට දෙමව්පියන් ද පෙළඹෙන තත්ත්වයක් පවුල තුළින්ම මතුවිමටද ඉඩකඩ පවතී.

විශාල වශයෙන් ඩිජිටල්කරණය වූ STEM ක්ෂේත්‍රය තුළ ඉල්ලුමට සරිලන රැකියා අවශ්‍යතාවන් සපුරාලිය හැකි වන්නේ ඊට කාන්තා දායකත්වය ද තරගකාරී ලෙස ලැබෙන්නේ නම් පමණි. එවිට ලොව පුරා වන STEM ශ්‍රම ඉල්ලුම සපුරාලීමට දායක වී, රටේ තිරසාර ආර්ථිකයක් ගොඩ නැංවීමට කාන්තාවන්ට ද දායක විය හැකිය. ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායේ නිරත කාන්තාවන්ගෙන් බහුතරය අවිධිමත් රැකියාවන්හි නිරත වන්නේ, STEM ක්ෂේත්‍රයන්හි ඉහළ වැටුප් තල හිමිවන රැකියාවන් අති විශාල සංඛ්‍යාවක් තිබියදී වන අතර, ලොව පුරා වේගයෙන් වර්ධනය වන සහ ඉහළම වැටුප් හිමි ක්ෂේත්‍රයන් ඔවුන්ගෙන් මෙසේ දුරස් වීම, රටේ ආර්ථික අර්බුදයට ඇති විසඳුමක් සම්පූර්ණයෙන්ම බැහැර කිරීමකි. එබැවින් STEM ක්ෂේත්‍රයන්හි ස්ත්‍රී පුරුෂ සමාජභාවී පරතරය පියවා දැමීම, ශ්‍රී ලංකාව වැනි රටක, තාක්ෂණය සහ නවෝත්පාදනය මගින් මෙහෙයවනු ලබන ආර්ථික වර්ධනයකට අත්‍යවශ්‍ය වේ.

එමෙන්ම STEM ක්ෂේත්‍රයන්හි දක්ෂතා දක්වන කාන්තාවන් ශක්තිමත් කිරීම හා අගය කිරීම ද අත්‍යවශ්‍ය කරුණකි. ඉකුත් කෝවිඩ් වසංගත සමයේ කෝවිඩ් 19 බලපෑම් පිළිබඳ අධ්‍යයනයන්හි ද අඛණ්ඩව නිරතවන අතර එන්නත් නිපදවීමේ කටයුතු ද ලොව පුරා මෙහෙයවනු ලැබුවේ කාන්තාවන් බහුතරය වන වෛද්‍ය පර්යේෂණයන්හි නිරත වී සිටි විද්‍යාඥයන් විසිනි. ලොව පුරා මෙවැනි පිරිස් බලගැන්වීම හා ඔවුන් ඇගයීම STEM ක්ෂේත්‍රයන් පිළිබඳ කාන්තාවන්ගේ උනන්දුව වැඩි වීමට ද රුකුලක් වේ. එමෙන්ම, වර්තමානයේ ලොව වෘත්තීන් ගණනාවක්ම AI තාක්ෂණය හෙවත් කෘත්‍රිම බුද්ධිය උපයෝගී කර ගනිමින් ව්‍යාප්ත වෙද්දී, ඊට කාන්තා දායකත්වය නොමසුරුව ලබාදීම ද වීම වැදගත් වේ. ස්ත්‍රී පුරුෂ සමාජභාවී භේදයකින් තොරව, සියලු ප්‍රජාවන් ඉලක්ක කරගනු ලබන නවෝත්පාදන කාන්තා දායකත්වයකින් තොරව පැවතීම සිදු නොවිය යුතු තත්වයකි.

ශ්‍රී ලංකාවේ STEM ක්ෂේත්‍රයන්හි බහුලව දැකිය හැකි මෙම ස්ත්‍රී පුරුෂ සමාජභාවී පරතරය වෙනස් කිරීම පිණිස, අඛණ්ඩ උත්සාහයන් ඉතාමත් සැලසුම් සහගතව සිදු කිරීම අවශ්‍ය වේ. ඒ සඳහා, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ හානිදායක සම්මත සමාජයෙන් ඉවත් කළ යුතු අතර, STEM ක්ෂේත්‍රයන්හි කාන්තා දායකත්වය වර්ධනය කිරීමේ අවශ්‍යතාව ද මතුවේ.

STEM ක්ෂේත්‍රයන් සඳහා කාන්තාවන් යොමු වීමේ අවකාශ මෙන්ම අපගේ අධ්‍යයන ව්‍යුහයන් ප්‍රතිසංස්කරණය කිරීම ද කාලීන අවශ්‍යතාවකි. පාසල් හා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිසු සිසුවියන්ට ස්ත්‍රී පුරුෂ සමාජභාවය නොසලකා සිය රුචිකත්වය අනුව ඉගෙනුම් ක්ෂේත්‍රය තෝරා ගැනීමට ඉඩකඩ සැලසිය යුතු අතර, වත්මන් ප්‍රවේශ අවස්ථා ද පුළුල් කළ යුතු වේ. උදාහරණ වශයෙන්, පිරිමි ළමුන්ට ගෘහස්ත කුසලතා සහ කලාවන් පිළිබඳ හැදෑරීමට ද, ගැහැණු ළමුන්ට යාන්ත්‍ර විද්‍යාව, අධි අවදානම් ක්‍රීඩා ආදිය හැදෑරීමට ද, බාධාවකින් තොරව අවස්ථාවන් සලසා දිය හැකි පරිදි පාසල්, විශ්වවිද්‍යාල, වෘත්තීය පුහුණු ආයතන යනාදියෙහි ප්‍රවේශය පුළුල් කළ යුතු වේ.

STEM ක්ෂේත්‍ර වෙත කාන්තාවන්ගේ දායකත්වය වර්ධනය කිරීමේදී ජනමාධ්‍ය සහ කලාව සතුව සැලකිය යුතු කාර්යභාරයක් තිබේ. ස්ත්‍රීභාවය පිළිබඳ සීමාවන් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ හානිදායක සමාජ සම්මතයන් ශක්තිමත් කරෙන ජනමාධ්‍ය හා කලා භාවිතාවන් වෙනුවට, පුද්ගල හැකියාවන් ඉස්මතු කෙරෙන ජනමාධ්‍ය සහ කලා භාවිතාවන් උදෙසා සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ ඔස්සේ, STEM ක්ෂේත්‍රයන්හි රැකියා කාන්තාවන්ට අසාමාන්‍ය දේ නොවන තැනට පත්කළ යුතුය.

එමෙන්ම STEM ක්ෂේත්‍රයන් වෙත කාන්තා ප්‍රවේශය වඩාත් පහසු කරමින්, සේවා ස්ථානයන්හි ද සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ තිබේ. එම ක්ෂේත්‍රයන්හි ස්ත්‍රී පුරුෂ සමාජ පරතරය පියවීමට නම්, සමාන කාර්යන් සඳහා සමාන වැටුප්, ශ්‍රේණි, නිවාඩු ආදිය ද ස්ත්‍රී පුරුෂාදී වෙනස්කම්වලින් තොරව හිමිවිය යුතුය. එමෙන්ම STEM රැකියාවන්හි කාන්තාවන්ට රැඳී සිටීමට හැකි පරිදි ළමා ආරක්ෂණ පහසුකම්, නම්‍යශීලී විධිවිධාන ඇතුළු ව්‍යුහාත්මක වෙනස්කම් ද සේවා ස්ථානවල සිදු කිරීම අනිවාර්ය අවශ්‍යතාවකි. එවැනි ව්‍යුහාත්මක වෙනස්කම්, ක්ෂේත්‍රයේ පුහුණු ශ්‍රමය රඳවා ගැනීමට සහ ඒ වෙත කාන්තාවන් ආකර්ෂණය කර ගැනීමට සැලකිය යුතු බලපෑමක් ඇති කරන බවට කලාපීය හා ගෝලීය වශයෙන් ලොව පුරා සිදු කෙරුණු අධ්‍යයන මඟින් සනාථ වී තිබේ. ඒ අනුව, Google, Microsoft වැනි තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගම් එම ක්ෂේත්‍රය වෙත කාන්තාවන් බඳවා ගැනීම සහ එහි රඳවා ගැනීම ඉලක්ක කර, දැනටමත් වැඩසටහන් දියත් කර තිබේ. බොහෝ පෞද්ගලික සමාගම්, තාක්ෂණික මෙහෙයුම් සමාගම් මෙන්ම රජයන් විසින් මෙම ක්ෂේත්‍රයන්හි බඳවා ගැනීම් හා කුසලතා පුළුල් කිරීම සඳහා ‘සාමූහිකයන්’ද පවත්වාගෙන යනු ලැබේ.

මෙම වසරේ විද්‍යාව සමග සම්බන්ධ කාන්තාවන්ගේ හා ගැහැණු ළමයින්ගේ දිනයේදී අවධාරණය කෙරෙන කරුණ නම්, STEM ක්ෂේත්‍ර කාන්තාවන් ද ඇතුළු අප සියල්ලන්ටම අයත් බවත්, ඒ වෙත ප්‍රවේශ වීම කාන්තාවන්ට අභියෝගයක් නොවිය යුතු බවත්ය. අනාගතයේදී එලෙස, මෙම ක්ෂේත්‍රයන් අභියෝගයක් බවට පත් නොවීමට නම්, මෙම වසරේ විද්‍යාව සමග සම්බන්ධ කාන්තාවන්ගේ හා ගැහැණු ළමයින්ගේ ජාත්‍යන්තර දිනයේදී ස්ත්‍රී පුරුෂ සමාජ සම්බාධක බිඳ හෙළීමට එක්ව වැඩ කිරීම සියල්ලන්ගේම වගකීමකි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *